හැකියාව දියුණු නොකර ජීවත්වීම මානසික පරිනාමයට විරුද්ධය

සමහරු අඟ හිඟකම් හා නොයෙකුත් කරදර මැද ජීවත්වෙමින් එම ජීවිතයට තමා කැමති බව කියති. එවැනි අය බොරුකාරයන් ලෙස අපට පෙනුනත් සත්‍යය නම් ඔව්හු නරක මානසික පුරුද්දකට ඇබ්බැහි වී සිටින්නෝ වෙති. ලද දෙයින් පමණක් සතුටු වී තම හැකියාවන් දියුණු කර ගැනීමට නොසිතා ජීවත්වීම මිනිසාගේ මානසික පරිනාමයට විරුද්ධ වූ ධර්මතාවයකි. එය අස්වාභාවිකය. මිනිසා පිළිබඳ ස්වභාවික සත්‍යය සිද්ධාන්තයක් නම් එක තැන පල් නොවී දියුණුවෙන් දියුණුවට යෑම ය.

සියළුම ශාරීරික අබල දුබලතාවයන් යනු මහළුවීම හෝ රෝගාබාධ වලින් පෙලීම ය. ඕනෑම මානසික දුබලකමක් යනු මානසික ආබාධයකි. කායික දුබලකම් නැතිව හට ගන්නා මානසික දුබලකම් තමන්ට ම සුව කරගත හැකිය. ඔබට දැඩි උද්යෝගිමත් සිතුවිලි පහල නොවන්නේ නම් එය ඔබේ සිතුවිලි ක්‍රමයේ වරදකි. මෙම මානසික තත්වය පහළ වන්නේ ඉලක්කයක් නොහොත් අරමුණක් නැතිව වාසය කරන්නන්ට ය. ඊ ළඟට තම අරමුණ ඉටුකර ගැනීමට බැරි යැයි සිතීම නිසා උද්යෝගය අඩුවෙයි. යම් සාධාරණ අරමුණක් ඉටු කරගන්නට බැරි වේ යයි සිතීමට කෙනෙකු පෙළඹෙන්නේ තමන් දුර්වලෙයකු යයි යන හැඟීම සමග ය. තමන් සමග එකට කටයුතු කරන මහා බලයක් වූ සිතක් ද සිටින බව වටහා ගත හැකි නම් කරන්නට බැරි යයි සිතන බොහෝ දේවල් කිරීම පහසුවන්නේය.

මෙහි දී ඕනෑම සාධාරණ අරමුණක් යයි අපි සඳහන් කරන්නේ කුමක් ද?

එනම් තමන්ගේ සුදුසුකම් අනුව ඉටු කරගත හැකි අරමුණුය. උදාහරණයක් වශයෙන් ඔබේ අරමුණ යෝධ ව්‍යාපාරිකයෙකු වීමට නම් ඒ සඳහා ඔබ තුල විශාල දැනුමක් තිබීම අවශ්‍යයි. මෙහි දී දැනුම සුදුසුකමකි. එය නැතිව ඔබේ අරමුණ ඉටු නොවේ.

බොහෝ දෙනා බොහෝ දේවල් තමන්ට කරන්නට බැරි දේවල් හැටියට තීරණය කොට සිටිති. එහෙත් සත්‍යය නම් දැඩි ඕනෑකමක් තිබේ නම් බොහෝ අයට බොහෝ දේවල් කළ හැකි වීමයි. යමක් කරන්නට තමන්ට බැරි යයි කියා සිතීම නිතරම වැරදි විදියට සිතීමේ පුරුද්දක් නිසා සිතට පහළ වෙන සිතුවිල්ලකි. මේ විදියට දක්ෂයාට තැනක් නැතැයි කියන අය ද බොහෝය.

දක්ෂයින් ඕනෑ නැති තැන දී දක්ෂයාට තැනක් නැති වෙන්නට පුළුවන. දක්ෂයාට තැනක් ලැබෙන්නේ නැතිනම් දක්ෂයා කළ යුත්තේ තම දක්ෂකම් පෙන්වීමට හැකි තැනකට යෑමයි. බොහෝ දක්ෂයන්ට තැනක් නොලැබෙන්නේ අකීකරුකම, ආඩම්බරකම හා නොඉවසිලිවන්තකම නිසාය. සමහර දක්ෂයන් අවංක නැත. අවංකකම හා හිතවත් විනීත ගති පැවතුම් නැතිනම් දක්ෂයෙකුගෙන් එතරම් ප්‍රයෝජනයක් නොමැත.

මිනිසෙකුගේ ජීවිතය සාර්ථක වෙන්නේ සාර්ථක ජීවිතයකට අවශ්‍ය දැනුම හා සුදුසුකම් ඇති කර ගැනීමෙන් පමණකි. තමන්ගේ සිතුවිලි ක්‍රමයේ වරදින් දැනුම හා සුදුසුකම් නොදැනුම හා නොසුදුසුකම් වලට හැරේ. ඉතා දැඩි ඕනෑකමකින් දියුණුවීමට වෑයම් කරන අයෙකු විසින් ඒ සඳහා අරමුණක් සැලැස්මක් හා තමන්ගේ ගතිගුණ මැනවින් සංවිධානය කරගත යුතු බව පෙනේ.

තමන් දුර්වලයෙකු යැයි තීරණය කරගෙන සිටින කෙනෙකුට කිසිදු යහපත් අරමුණක් පහළ නොවේ. දුර්වලයාට පහළ වෙන්නේ දැඩි ඉරිසියාව පමණකි. එය ඔහුගේ දියුණුවට බලවත් බාධකයක් වන්නේය.

කිසිම දෙයකින් කිසිම සාර්ථක ප්‍රතිඵලයක් ලබා නැති මිනිසුන් බොහෝය. ඔව්හු ආත්ම විශ්වාසය නොමැති කමින් එසේ තම ජීවිත අසාර්ථක කරගෙන සිටිති. අනාගතය පිළිබඳ පැහැදිලි ඉලක්කයක් පහළ කරගත හැක්කේ තමන්ට දියුණුව කරා යන්නට හැකියයි සිතන්නෙකුට පමණය.

තමන්ට දියුණු වීමට වාසනාව නැත, ග්‍රහ බලය නැත, උගත්කම හෝ දැනුම නැත ආදී වශයෙන් සිතන්නේ ආත්ම විශ්වාසයක් නැති පුද්ගලයාය. තමන්ටත් යමක් කරන්නට පුළුවන් යයි ස්ථිරව සිතා ගන්නා අයෙකුට මිස අන් කිසිවෙකුට තම ජීවිතය සාර්ථක කරගන්නට බැරිය. මේ නිසා සාර්ථක ජීවිතයක රහස දැඩි ආත්ම විශ්වාසය නිසා පහළ කරගත්තා වූ අධිෂ්ඨානය බව පැහැදිලිය. මෙකී මානසික ස්වභාවයෙන් සිහිබුද්ධිය හොඳ, සෑම කෙනෙකුට තුලම ඇත. අවශ්‍ය වන්නේ ඒ බව පුද්ගලයා විසින් තේරුම් ගැනීමය.

සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 පෙබරවාරි 1

Advertisements