අපි කෙසේ අත් පා දිග හරිමු ද?

බොරු කීම, බොරු ලිවීම හා බොරු කිරීම නිසා අපේ රට, ජාතිය හා ආගම අඳුරු අගාධයකට ඇද වැටී තිබේ. මෙම ජාතික මහා දුබලකමෙන් ගොඩ ඒමට වහා කටයුතු කිරීම සඳහා අවංක හා කාරුණික උතුමන් පෙරමුණ ගත යුතුය.

පැරණි උගතුන් ඒ කාලයේ ලිවීමේ සම්ප්‍රදාය හෝ ශෛලීය අනුව සිංහලේ උපත සිංහබාහු හා සිංහ සීවලී නිසා සිදු වූ බව ලියා තිබේ. සිංහයා යයි කියනු ලබන තිරිසනා නිසා මිනිසුන් බිහි නොවේ. එහෙත් සිංහයාගේ ඇතැම් ගතිගුණ සිංහලයින් තුල දක්නට ලැබේ. අලසකම, ගැහැණු සතා ලවා ආහාර සපයා ගැනීම, වහා කිපීම හා දැඩි අහංකාරකම සිංහයාගේ ගතිගුණ වලින් සමහරෙකි.

වන සතුන් අල්ලා ගැනීම සඳහා උගුල් ඇටවීමට ලෝකයේ අනිකුත් ජාතීන්ට වඩා සිංහලයා අති දක්ෂ යැයි රොබට් නොක්ස් ලියා තිබේ. එසේම සිංහලයා බොහෝ විට තමන් අටවන ලද උගුලේ තමන් ද වැටී සිටීම ද සුලබව දක්නට ලැබේ යැයි ඔහු පවසයි. මේ ගතිගුණ අප ළඟ අද තවමත් ඉතිරි වී තිබේ. අද අපි මිනිසුන්ට උගුල් අටවා ඇතැම් විට අපිත් එම උගුල්වල වැටී දඟලමු. මේ ජාති ගති වෙනස් කර ගැනීමට පුළුවන. ඒ සඳහා ඒවා අප ළඟ තිබෙන දුබලකම් බව පළමු කොට අවංකව පිළිගැනීමට සූදානම් විය යුතුය.

විජය රජු විසින් මුලින් ම ලංකාවට ආවේ බුදු හිමියන් පිරිනිවන් පෑ දිනයේ යැයි මහාවංශය කියයි. එදින ශක්‍රයා මහළු වෙසක් මවාගෙන ඇවිත් පිරිත් නුලක් බැන්ඳ බව ද සඳහන් වේ. මෙය එදා බලා සිටියේ කව්ද? අවුරුදු දහස් ගණනකට පසු එය ලීවේ කාගෙන් අහගෙන ද?

බුදු හිමියන්ගේ කාලයේ උන්වහන්සේ කිසිවෙකුට පිරිත් නූල් බැන්ඳේ නැත. උන්වහන්සේ ළඟට ගිය කිසිවෙකුට බුදුහිමියෝ මල් පහන් පිදීමට, බෝගස් වලට බෝධි පූජා කිරීමට හෝ බාරහාර වී දෙවියන්ට පින් දීමට කීවේ නැත. ශක්‍රයා පිරිත් නූල් බඳින්නට ඉගෙන ගත්තේ හින්දු සාදුලාගෙන් විය යුතුය. මෙවැනි බොරු වලින් සිංහල ජාතිය බිහිකොට ලංකාද්වීපයේ පදිංචි කරවනු ලැබීය.

විජය රජුගේ ආගම කුමක් වුවත් ඔහුත් පෘතුගීසි හා ඕලන්දකාරයින් මෙන් ගම් නියම් ගම් හා රටවල් කොල්ල කෑමේ යෙදුනු පල්හොරුන්ගේ නායකයෙකු බව නම් පෙනේ. ඔහු මෙහි නෑවිත් හිටපු දිහාවේ ම හිටියා නම් මීට වඩා හොඳ ය. ශක්‍රයා ද උදව් කරන්නේ හොරුන්ට ම ය. පෘතුගීසිකාරයා, ඕලන්දකාරයා සහ අවසනට ආපු ඉංග්‍රීසිකාරයාට ද ශක්‍රයා පිරිත් කියා නූල් බඳින්නට ඇත. එය කිසිවෙකුට හොරෙන් කළ නිසා බලාගෙන සිටියා වගේ කීමට හෝ ලිවීමට කෙනෙකු ඉදිරිපත් නොවුනා වන්නට ඇත. ශක්‍රයා විජය රජුට පිරිත් නූල් බැඳීම හෙළි වුන නිසා ඉංග්‍රීසිකාරයාට පිරිත් නූල් බැන්ඳේ හොර රහසේ ම විය හැකිය.

මෙසේ පොත්වල ලියන ඕනෑම බොරුවක් විශ්වාස කරන අපි මිනීමස් කෑ කුවේනිය අපේ සෑහෙන කෙරුම්කාරියක් ලෙස ද පිළිගනිමු. බොරැවකින් උපත ලබා බොරු පොත්පත් කියවමින් අවුරුදු දහස් ගණනක පරම්පරාව රැකගෙන ආ අපි අදත් ජීවත්වන්නේ බොරුවෙනි.

සිංහලයාගේ වංශ කතාවේ පොලව පැලෙන බොරු අඩංගු කළාට කමක් නැත. සිංහලයා ඉතා ගෞරවයකින් අදහන ඔහුගේ ප්‍රාණය හා සමාන බුද්ධාගම ගැන ලියා ඇති බොරු නම් සමාවක් දීමට බැරි තරම් ය. සිංහල දරුවන් කුඩා කල පටන් හැදෙන්නේ බොරු කියැවීමට පුරුදු වීමෙනි. ඔව්හු ඒවා බොරු බව දැන ගන්නේ විශ්ව විද්‍යාල මට්ටමේ අධ්‍යාපනය ලබන විට ය. බොරු ලියා ඇති පොත්වලට වඳිමින් බොරු ඉගෙන ගෙන පසුව ඒවා අමූලික බොරු බව වටහා ගත් පසු සිංහල උගතා තුල පහළ වෙන්නේ පුදුම මානසික තත්වයකි. බුද්ධාගම යනුවෙන් බොරු ලියන්නට පුළුවන් නම් අපි මොන බොරු කළත් කමක් නැතැයි යන හැඟීම ඔහුගේ යටි සිතේ නිධන් වෙයි. ඉතිහාසයත් බොරු නම්, ආගම කියා ලියා ඇත්තේ ද බොරු නම්, සිංහලයා බොරු කීමට බිය නැති, ලැජ්ජා නැති නොදියුණු අසරණ තත්වයකට වැටීම පුදුමයක් ද?

සිංහලයාගේ අලුත් අවුරුද්ද පටන් ගන්නේ මහා බොරුවකිනි. සිංහල දරුවෙකුට නමක් තබන්නේ ද කිසිදු සත්‍යයක් නැති ඝණ බැලීමෙනි. පොත් කියවන්නේ බොරු නැකත් බලා අලි ඔළුකාරයෙකුට පුද පූජා තැබීමෙනි. එසේ නැත්නම් හින්දු මිථ්‍යා කතාවල එන සරස්වතියට පළතුරු පූජා කිරීමෙනි.

බුද්ධාගමේ හැටියට කුලයක් නැතැයි කියා ඉගෙන ගන්නා දරුවා විවාහ වන්නට යනවිට කුලය කියා දෙයක් බොහොම සැරේට බලපාන බව දැනගනියි. සත්‍යය වසන් කොට බොරුකාරයින් බෝ කරන පොතපත ගැන ඉතා ඉහළින් කතා කරන රටක මිනිස්සු උදේට අවදි වී රෑට නින්දට යනතුරු ම කියවන්නේ බොරු වාර්තා ඇතුලත් පුවත්පත් ය. මොවුන්ගේ දෙවියෝ බොරුකාරයෝය. මොවුන්ගේ පාලකයෝ බලයට එන්නේ ද බොරු කියමිනි. ජාතික උරුමයක් වී ඇති සම්‍යක් බොරු ද තිබේ. මෙසේ සෑම දෙසින් ම බොරු පහළ වී තිබිය දී සිංහලයා කෙසේ අත් පා දිග හරින්නට ද?

Advertisements