වරදක් නොකළ අයෙකුට දඬුවම් දීම වැරදි වැඩකි

වරදක් නොකළ අයෙකුට දඬුවම් දීම වැරදි වැඩකි. ඒ නිසා අපට වරදක් නොකරන අපේ සිතට අපි දඬුවම් නොදී සිටිමු.

අපි කවුරුත් තෑගි ලැබීමට ආශා කරමු. එසේ නම් අපි තෑගි දීමට ද ආශා කළ යුතුය. තෑගි නොදී තෑගි ලැබීමට සිතීම එතරම් සාර්ථක නොවන සිතීමකි. බිළිඳු දරුවන්ට අපි ආදරය කරන්නේ ඔවුන් ගෙන් අපට ලැබෙන හුරතලයට නිසාය. කුඩා දරුවාට දීමට ඇති ලොකුම තෑග්ග හුරතලයයි. අපි ආදරය කරන අය පෙරලා අපට ආදරය කරති. එහෙත් තරුණ අය ගෙන් වැඩි දෙනා මෙය වරදවා තේරුම් ගෙන සිටිති. ඔව්හු තමන් ආශා කරන පුද්ගලයෙකුට ඉතා ආදරය බව පවසති. එහෙත් ඒ අය පෙරලා තමාට ආදරය කරන්නේ නැතිලු.

කෙනෙකුගේ රූපයට ආසා කිරීම යනු ඔහුට හෝ ඇයට ආදරය කිරීම නොවේ. මෙහි දී ඔබ කරන්නේ තෑග්ගක් දීම නොව තෑග්ගක් ලැබීමට ආසා කිරීමය. තමන් ආශා කරන අයෙකුට ආදරය කිරීම ඉතා පහසුය. එහෙත් එසේ අන් අයෙකුට ආශා කරන්නේ ඇයි? කුමන කාරණයක් මුල් කරගෙන ද? සිතට එකඟව එම ප්‍රශ්නයට පිළිතුරු දීමට යන කෙනෙකුට එතැන පහළ වී ඇත්තේ කාම ආශාවක් මිස පිරිසිදු ආදරයක් නොවන බව වටහා ගත හැකිය.

මානසික ධර්මයන් අවබෝධ කරගන්නා අය අන් අයට වරද පටවන්නේ නැත. ‘අපේ’ මනස අවුල් වුවහොත් ‘අපි’ මොනවා නොකරයි ද? හැම කෙනෙක්  තමන්ගේ මනස නිරෝගී ව තබා ගැනීමට ඉගෙන ගන්නේ නැත. එහෙත් හැමෝම මෝඩ වැඩ කරන නිසා මෝඩයාට සමාව දීම ඉතා අගනා තෑග්ගකි. තමාගේ සිතට තමාට දිය හැකි ලොකුම තෑග්ග නම් එය සතුටින් තබා ගැනීමයි. එය නිති කරන්නට ඉගෙන ගැනීමයි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1984 ජනවාරි 1

Advertisements