ආයුබෝවන්!

“මම පුංචි කාලෙ (මුලින් ම ලංකාවට බස් රථ ආපු කාලේ) බස් ඩ්‍රැයිවර් උන්නැහේට කවුරුත් සැලකුවේ ලොකු ගෞරවයකින්. මම හිතාගත්තා මම බස් ඩ්‍රැයිවර් කෙනෙක් වෙනවා කියල.

අද මගේ මනෝවිද්‍යාත්මක “කථා බස්” එකට ගොඩ වී යන අය, ප්‍රවේසමෙන් ඔවුන්ගේ ඉලක්කය කරා මම ගෙන ගියා. මම අද ඉන් විශාල සතුටක් ලබනවා.

තට්ටු ගෙයක් හදන තැනක ලොකු බාස් උන්නැහැ කියන විදියට, කම්කරුවන් පිළිපදිනවා මම දැක්කා. මම හිතා ගත්තා මම ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙනවා කියලා. අද මම තට්ටුවෙන් තට්ටුව පොත් ලියලා විශාල පිරිසක් මනසින් උඩු මහල් වල තියන්න මට හැකිවුනා.

පන්සලක බුද්ධ රූපයක් අඹන ශිල්පියෙක් දිහා මම බලාගෙන හිටියා. එදා මම හිතාගත්තා මම මූර්ති ශිල්පියෙක් වෙනවා කියලා. පළමුව මම මගේ අධ්‍යාත්මික රූපය නිර්මාණය කරගත්තා. ඉන්පසු මම තෝරාගත්තේ රන් රුවන් මුතු මැණික් හා දියමන්ති නොව එදා වැඩිහිටියන් කියා දීපු ගුණ යහපත්කම්.

උණ හැදී දොස්තර මහතා ළඟට ගිය පුංචි මම ලොකු වුනාම දොස්තර මහත්මයෙක් වෙනවා කියලා හිතාගත්තා. ඒ වගේම අද මම මිනිසුන්ගේ මානසික ප්‍රශ්න වලට ප්‍රතිකාර කියා දී ඔවුන් සුවපත් කොට දැවෙන කෝප ක්‍රෝධ ගිනි (උණ) නිවා දමනවා.

මම ගුරුවරයෙක්. මගේ ඉගැන්වීම් වලින් අන් අය ආදර්ශ ගෙන උත්සාහයේ, වෑයමේ, ඇපකැප වීමේ, පසුනොබැසීමේ අගය වටහා ගත්තා.

මම තීන්ත බාස් කෙනෙක්. මිනිසුන්ගේ දිරා ගිය පුස් සිතිවිලි වල දීප්තිමත් චිත්ත ධර්ම විද්‍යාව ආලේප කර සිත් ඔප ගන්වනවා.

මම කඳු නඟින්නෙක්, බාධා හිරිහැර වැහි කුණාටු සතා සර්පයා මැඬගෙන අධ්‍යාත්මික කඳු නැඟ්ගා.

මම පාපන්දු ක්‍රීඩකයෙක්. මගේ පන්දුව ඉලක්කය කරා ගෙන යාමට මා දැරූ උත්සාහය නිසා මට බාධා කළ අනික් ක්‍රීඩකයන්ට වඩා මම දක්ෂ වූ නිසා විරුද්ධවාදීන් මැඬගෙන ලකුණු ගොඩක් රැස් කරගන්න මම සමත් වුනා.

අව්වත් මම වැස්සත් මම. මිනිස්සු අව් වැසි දෙකටම බනිනවා. නමුත් අව්ව පායන එකත් වැස්ස වහින එකත් කෙරීගෙන යනවා. මමත් ඇනුම් බැනුම් මැද වහිනවා පායනවා.

මම කෝටිපතියෙක්. ඔබට පිහිට වීමට අවශ්‍ය කරුණාවන්ත කමින් මගේ මනෝ බැංකුව උතුරා ගිහින්. නිදි නැතිව හරි හම්බ කල දැනුම, මා ලබා ඇති පළපුරුද්ද මිල කල නොහැකි තරම් මම පොහොසත්. මම එය බෙදා දුන්නෙමි.

මා ඉගෙන ගත්තේ කිසිදින නොමියන මිනිසෙකු ලෙස ය.

මා ජීවත්වන්නේත් සේවය කරන්නේත් හෙට මිය යන මිනිසෙකු ලෙස ය.”

-සුමනදාස සමරසිංහ 2002 දිනපොතේ අවසන් වරට එසේ සටහන් කර ඇත.

Advertisements